Friday, August 11, 2017

                      ලෝක උරුමයේ නොදත් කතාව
                       
                                             දඹුලු ඔයෙන් ඉස් සෝදා නාප          ල්ලා
                               සැරසුම් ගලට ගොස් සැරසී පලය      ල්ලා
                               පඩියෙන් පඩිය ගල් පඩිපිට නැගප    ල්ලා
                               දහසක් පෙති පිළිම දොර ඇර වැඳප  ල්ලා
        
 ශ්‍රී ලංකාව තරම් ස්වභාව සෞන්දර්යයෙන් මෙන්ම ඓතිහාසිකව ද එකසේ දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇද බැඳගත් රටක් තවත් නැති තරම්ය.දඹුලු විහාරය ලෝකය හදුනා ගන්නේ ලෝක උරුමයක් ලෙස ය.ඉහත සඳහන් වන්නේ මාතලේ ජනකවි පොතේ දඹුලු විහාරය පිළිබඳ දැක්වෙන කවියකි.එදා මෙන්ම අදත් දිනපතාම සැදැහැවතුන්ගෙන් සහ දෙස් විදෙස් සංචාරකයින්ගෙන් රංගිරි දඹුලු පින්බිම නොමඳ බුහුමනට ලක්වෙයි. මේ දිනවල ඒ පිළිබඳ වැඩිපුර කතාබහට ලක්වන්නේ එය ලෝක උරුමයෙන් ඉවත් කිරීමේ තර්ජනයට මුහුණපා ඇති නිසා ය.දේශපාලන වේදිකාවේ ද දඹුලු විහාරය උණුසුම් සංවාද ඇති කරන ඉතා ජනප්‍රිය මාතෘකාවක් බවට පත්ව ඇත .කෙසේ වෙතත් බෞද්ධයන්ගෙ නොමඳ ගෞරවයට පාත්‍ර වු මේ පින්බිමට ඇත්තේ දිගු ඉතිහාස කතාවකි.මේ සටහන තබන්නේ බොහෝදෙනෙකු නොදන්නා එම ඉතිහාසය කතාව ගෙනහැර දැක්වීම සඳහා ය.
  රංගිරි දඹුලු රජමහා විහාරය පිහිටා ඇත්තේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ උතුරට වන්නට ය. දඹුලු විහාරය දැකබලා ගැනීමට එන අයෙකුට මාර්ග කිහිපයක් ඔස්සේ මේ වෙත ළඟා විය හැකියි.මහනුවර හරහා විත් දඹුල්ල- මාතලේ පාරෙන් හෝ කොළඹ සිට කුරුණෑගල හරහා විත් දඹුල්ල පිරිවෙන හන්දියෙන් හැරී දඹුලු විහාරය වෙත පිවිසිය හැකියි. අද වනවිට දඹුලු විහාරය “උයන්වත්ත රජමහා විහාරය” හෙවත් ”ගෝල්ඩන් ටෙම්පල්“ සහ “පැරණි දඹූලු ලෙන් විහාරය” ලෙස කොටස් දෙකකින් යුක්ත ය. දඹුලු ලෙන් විහාරය අඩි 600 පමණ උසින් පිහිටි ගල් පර්වත සමූහයක් මත පිහිටා ඇත.මෙහි පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුක්ත කොටස ලෙස හැඳින්වෙන්නේ ද මෙයයි.
    ඓතිහාසිකව මෙන්ම පුරාවිද්‍යාත්මකව ද දර්ශනීය ස්වභාවික පරිසරයකින් හෙබි දඹුලුු ලෙන්    විහාරය මෙහි වැදගත්ම ස්ථානයයි.මෙය ලක්දිව විශාලතම සංරක්ෂිත ලෙන් විහාර සංකීර්ණය ලෙස සැලකේ.අතීතයේදී මෙම ප්‍රදේශයේ දඹ ගස් බහුලව පිහිටීම නිසා දඹුල්ල වූ බවත් තවත් මතයක දඹ උල් බහුලව තිබීම නිසා දඹුල්ල වූ බවත් කියවේ.මෙම විහාරයේ ඇති දඹුලු ලෙන් යෝගාවචර භික්ෂූන් වහන්සේලාගේ වාසස්ථාන වී තිබූ බව අවට පිහිටා ඇති ගල් ලෙන් වල කොටා ඇති සෙල්ලිපි වලින් තහවුරු වේ. අතීතයේදී ජම්බුකෝල, දඹකොළ,චතවන,චාතපබ්බත,වෙස්සගිරි,ස්වර්ණගිරිගුහා  ලෙෂ ද මෙම ස්ථානය හඳූන්වා ඇත.ජනප්‍රවාදයට අනුව “සීතා” නම් වැද්දෙකු විසින් මෙම ලෙන් සමුහය වලගම්බා රජුට  පෙන්වා ඇති අතර රජතුමා විසින් මෙය විහාර මන්දිරයක් බවට පත් කරවා සිව් දිසාවේ සංඝයාට පූජා කර ඇත. පසුකාලීනව 1848 කැරැල්ලට නායකත්වය දුන් ගොන්ගාලේගොඩ බණ්ඩාට ඔටුනු පළඳවා ඇත්තේ ද මෙහිදී ය.එවකට  මෙම විහාරයේ වැඩ විසූ ගිරානේගම ඉන්ද්‍රජෝති හිමියෝ එහි මුලිකත්වය ගෙන ඇත. දඹුලු ලෙන් විහාරයට පන්සල් හතරක අයිතිය පවතී.මැද පන්සල,ඉහළ පන්සල හෙවත් රංගිරිපාය,උයන්වත්ත මහා විහාරය හා උයන්වත්ත පුරාණ විහාරය යනු ඒ සතරයි.1848 කැරැල්ල නිසා ඉන්ද්‍රජෝති හිමියන් සමඟ උරණ වූ ඉංග්‍රීසි පාලකයෝ මෙම විහාරයන්හි අයිතිය මහනුවර අස්ගිරියේ මූල මහා විහාරයට පවරන ලදුව දඹුලු විහාරයේ විහාරාධිපතිත්වය අස්ගිරි මහා විහාරය දරතු ලබයි.භාරකාර ධූරය සඳහා පන්සල් හතරටම අයිති හිමිනමක් විහාරාධිපති හිමියන් විසින් පත් කරනු ලබයි.
      ලෙන් විහාරය නැරඹීමට යන අයෙකුට දඹුල්ල උයන්වත්ත රජමහා විහාරය අසලින් මීටර සියයක පමණ දුරක් ආ විට හමුවන දඹුලු ලෙන් විහාරය දෙසට යන මාර්ගයේ ගමන් කළ යුතුය.නැතිනම් ගෝල්ඩන් ටෙම්පල් හරහා මෙම ගමන් මඟට පිවිසිය හැකිය.මෙම මාර්ගයේ  ගමන් කරන්නෙකුට මෙය වන්දනා ගමනක් නොව අපූර්ව ලෙස ස්වභාව සුන්දරත්වය විඳගැනීමට ලැබුණු අවස්ථාවක් ද වනු ඇත.රාත්‍රී කාලයේ සංචාරය කරන්නෙකුට දහවල් දාහය  නිවා දමන සිසිල් සුළඟ ගෙනෙන්නේ නොමඳ සැනසිල්ලකි. මඳ දුරක් පා ගමනින් යන විට දඹුලු ගල හමුවේ.මෙහි නැඟීමෙන් පසු ගල් අතුරා ඇති මාර්ගය ඔස්සේ විහාරය තෙක් ගමන් කළ යුතුය.නැතිනම් දඹුලු ගල නැඟ පියගැට පෙළ ඔස්සේ ද ලෙන් විහාරය කරා ගමන් කළ හැකිය. මේ මාවත් දෙකේ යන්නෙකුට විඳගත හැක්කේ වෙනස්ම ආකාරයේ අත්දැකීමකි . විහාරයට පසෙකින් ඇති දහයියා කන්ද ද මේ ගමන් මාර්ගයේ යන්නෙකුට හමුවෙයි.  විහාරය  ගොඩ නැඟීමට ආ පිරිසට කෑමට දීමට කෙටූ වී වල දහයියා ගොඩ ගැසීමෙන් ගල් බවට පත්ව මෙම දහයියා කන්ද නිර්මාණය වු බව ජනප්‍රවාදයේ එයි.
    මේ සියල්ලම පසුකර විත් විහාරයේ දර්ශනීය වාහල්කඩෙන් ගොඩවෙන අයෙකුට මෙම රමණීය ලෙන් විහාරයට ඇතුල් විය හැකියි.කටාරම් සහිත ගල් ලෙන් පහක් මෙහි බුද්ධ මන්දිර ලෙස සකස් වී ඇත.මෙම විහාර මන්දිරයට ඉදිරියෙන් පිහිටා ඇති පොකුණ සහ වැඩ සිටිනා බෝධීන් වහන්සේ විහාරයට එක් කරන්නේ අමුතු ආලෝකයකි.ලෙන් විහාරය ඇතුල් වනවිට පිළිවෙළින් හමුවන්නේ දෙව්රජ විහාරය, මහරජ විහාරය, අලුත් විහාරය, පශ්චිම විහාරය හා දෙවැනි අලුත් විහාරයයි. මේවා බුද්ධ මන්දිර ලෙස සකස වූ ලෙන් ය.මෙම ලෙන් වල විවිධ ඉරියව් වලින් යුක්ත බුද්ධ ප්‍රතිමා 151 ක් තිබේ.ගල්,ගඩොල් ,මැටි හා දැව මෙම පිළිම සඳහා අමුද්‍රව්‍ය ලෙස භාවිත කර ඇත.විහාරයේ පර්වත වියන මෙන්ම වට ආවරණ බිත්ති ද සිතුවමින් අලංකාර කර ඇත.මෙ චිත්‍ර සඳහා වෙන් කර ඇති ඉඩ ප්‍රමාණය වර්ග අඩි 22000 කි. පොළොන්නරු සමයේ සිටම මෙම සිතුවම් නිර්මාණය කර ඇත්තේ නිලගම සිත්තර පරම්පරාව විසිනි.ඔවුන් සතුව ඇති “නිලගම සන්නස” තුළින් දඹුලු විහාරයේ සිතුවම් පිළිබඳ තොරතුරු රැසක් හෙළි වෙයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා නිලගම පරම්පරාවට ගම්වරයක්  ද පරිත්‍යාග කර ඇත.මෙහි පොළොන්නරු සමයට අයත්  චිත්‍ර කිහිපයක් ද වන අතර ඉතිරි ඒවා මහනුවර සමයට හා ඉන් පසු කාලයට අයත් ය.මේ සිතුවම්  තුළ බුදුුරජාණන් වහන්සේ වස් විසූ ස්ථාන, උපතේ සිට පරිනිර්වාණය දක්වා බූද්ධ චරිතයේ වැදගත් සිදුුවීම් ,මහින්දාගමනයෙන් පසුව ලක්දිව සිදුවූ ආගමික වශයෙන් වැදගත් සිදුුවීම්,සූවිසි බුද්ධ රූප, මහ රහත් රූප, විවිධ දෙවිවරුන්ගේ රූප, නෙලුම් මල් මෝස්තර,රැළි මෝස්තර මෙන්ම කොටු මෝස්තර ද මේ සිතුවම් අතර තිබේ. මහනුවර සමයේදී මෙරට වන්දනාමානයට ලක්වූ විශ්වකර්ම, සුමන සමන් ,බිසෝ බණ්ඩාර,ගණදෙවි,කතරගම ,විශ්ණු, ශක්‍ර මෙන්ම මාර දිව්‍ය පුත්‍රයාගේ රූපයක් ද මෙම චිත්‍ර අතර වෙයි. මහනුවර සමයෙන් පසු මෙම චිත්‍ර සංරක්ෂණය වී ඇතත් මේ වනවිට විහාර මන්දිර වල බොහෝ සිතුවම් මැකී යාමේ තර්ජනයට මුහුණ පා ඇත. සමහර ස්ථාන වල මැටි බදාමය ද ගැලවී ගොස් තිබේ. නමුත් මේ දිනවල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් යළිත් සංරක්ෂණ කටයුතු ආරම්භ කර ඇතැයි පැවසීම මෙම ලෝක උරුමයට ආදරය කරන කාහටත් සතුටට කරුණකි.
    මෙහි ඇති පංචමහා විහාරයන් ද දෙස් විදෙස් වන්දනාකරුවන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වුවකි. මෙම විහාරය රංගිරි දඹුල්ල ලෙස ප්‍රකට වී ඇත්තේ ද නිශ්ශංකමල්ල රජතුමා මෙහි පිළිමවල රන් ආලේප කිරීමෙන් පසුව යැයි සැලකේ .අදටත් බොහෝ පිළිමවල එසේ ආලේපිත රන් ශේෂ වී තිබෙනු දැකිය හැකිය. මෙම විහාර මන්දිර සෑම එකක්ම පාහේ විශේෂ වැදගත්කමක් දරනු ලබයි. විහාර අතරින් පළමුව හමුවන්නේ දෙව්රජ විහාරයයි. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා විසින් නිමවන ලද නිසා ‘දෙව්රජ’ යන නම ලැබුණු බව ජනප්‍රවාදයේ එයි. විශ්වකර්ම දිව්‍ය පුත්‍රයාගේ රූපයක් ද මෙහි ප්‍රධාන දොර උළුවස්සට උඩින් නිමවා ඇත.සමහරුන් පවසන්නේ මහ රජුත් දෙව් රජුත් දෙදෙනාම එක්ව තැනූ නිසා මෙම නම ලැබුණු බවයි. මෙහි ප්‍රතිමා හතක් ඇති අතර පිරිනිවන් මංචකය දැක්වෙන පිළිමය එයින් ප්‍රධාන වේ. එම ප්‍රතිමාව අඩි 27 ක් දිගින් යුක්ත වන අතර රන් ආලේපිත ය. මෙය වළගම්බා රජ සමයේම කරන ලද පිළිමයකි. අඩවන් දෑස ,රැස්මාලා නොමැති හිස, ඇතුළට නෙරුණු කුස, පසුපසට ඇදුණු පාදය හා මඳක් ඉදිරියට ආ දණහිස යන පිරිනිවන් පිළිමයක හදුනාගත හැකි ලක්ෂණ පහම මෙහි දැකිය හැකිය.මෙම පිළිමයේ ශරීරාංගයන් වෙනුවෙන් වෙන වෙනම ගම් බිම් පූජා කර ඇත. නළලට-නළල්ගමුව,කන්වලට -කණ්ඩලම,ගිරියට-ගිරියගමුව, බඩට-බඩගමුව,පිටට-පිටගමුව, දෑලට-ඇළගමුව ආදිය පූජා කළ ගම් අතර වෙයි.
    දෙව්රජ විහාරයට පසුව හමුවන මහරජ විහාරය පිළිම සහ චිත්‍ර රැසකින් සමන්විත ය. දඹුලු විහාරයේ විශාලතම ලෙන් විහාරය ලෙස සැලකෙන්නේ ද මහරජ විහාරයයි.මෙම විහාරයේ දොරටු දෙකක් ඇති අතර මෙම ඕනෑම දොරටුවකින් ඇතුළු වන්නෙකුට හිටි පිළිම දෙකක් දැකිය හැකිය. ජනප්‍රවාදයට අනුව ඒවා වළගම්බා රජුගේ හා සෝමාවතී දේවියගේ පිළිම යැයි සැලකේ. වළගම්බා මහ රජතුමාගේ ප්‍රතිමාව උතුරු පසින් ඇති ප්‍රධාන දොරටුව ආසන්නයේ ඇත. දකුණු පස කෙළවර බිත්තිය ආසන්නයේ පසෙකින් පිහිටා ඇති තුන් තැනකින් වක් ගැසුණු පිළිමය නිශ්ශංකමල්ල මහ රජතුමාගේ යැයි සැලකේ. රජවරුන් තිදෙනෙකුගේම පිළිම දක්නට ඇති බැවින් මෙය හැඳින්වෙන්නේ මහරජ විහාරය නමිනි. විහාරය තුළ විශාල ඉඩකඩක් පවතින බැවින් දඹුලු විහාරය හා බැඳුණු විශේෂ ආගමික උත්සව එහිදී පැවැත්වේ. මෙම මහරජ විහාරය මධ්‍යයට වන්නට නොසිඳෙන ජල බිඳුව වෑස්සෙනු දැකිය හැකිය.වැඩිහිටියන් පවසන්නේ ගලේ ස්වාභාවිකවම පිහිටා ඇති පැලුමක් වැනි විවරයකින් වෑස්සෙන මෙම ජල බිඳුව පරම්පරා ගණනක් තිස්සේ නොසිඳී පවතින බවයි. එහි ජලය රැස් කිරීමට තඹ මුට්ටියක් තබා තිබුණ ද වෑස්සෙන ජලයෙන් මුට්ටිය පිරෙනවා විනා උතුරා යාමක් දක්නට නොවීම වන්දනාකරුවන්ගේ කුතුහලය වඩවන දසුනක් බවට පත්ව ඇත. අයෙක් මෙම තඹ මුට්ටියට පඬුරු දැමීමට ද අමතක නොකරති. මහරජ විහාරය හා බැඳි ජනප්‍රවාද රැසක් පවතී. වරක්  සිත්තරා මෙහි වියනේ සිතුවම් අඳින අවස්ථාවක වැරදීමෙන් රජු ලවා තීන්ත ඉල්වා ගත් නිසා ඇතිවු පසුතැවීමෙන් සියදිවි නසාගත් බවට මතයක් පවතී. මෙහි වියන ගැබ් 25 කට බෙදා ඇති අතර බුද්ධ රූප 1012ක් එහි ඇඳ ඇත. විහාර දොරටුවෙන් ඇතුළු වනවිටම දැකිය හැකි මධ්‍යම ප්‍රමාණයේ දාගැබ හැඳින්වෙන්නේ ‘ගල්කුඩු සෑය’ නමිනි. දෙව්රජ විහාරයේ ඇති පිරිනිවන් බුද්ධ ප්‍රතිමාව නිර්මාණයේදී කඩා ඉවත් කළ ගල් කුඩු පස් පෑලපල්ලැහැක් තැන්පත් කර මෙය ඉදිකර ඇත.දාගැබ ගල්කුඩු සෑය නමින් හැඳින්වෙන්නේ ද එහෙයිනි. විහාර මන්දිරය තුළ අභය, විතර්ක,භුමිස්පර්ෂ,සමාධි ආදී මුද්‍රා වලින් යුක්ත හිටි පිළිම 16 ක් ද හිඳි පිළිම 39 ක් ද සැතපෙන පිළිමයක් ද දක්නට ඇත.ලෙන් විහාර අතරින් වැඩිම වපසරියක විහිදී ඇත්තේ ද මෙම විහාරයයි.

   ‘ඇඳිරි ගේ’ නමින් අතීතයේදී හඳුන්වා ඇති මහ අලුත් විහාරය කී්ර්ති ශී රාජසිංහ රජු විසින් තනවන ලද්දකි.මෙහි පිළිම ඉතා කුඩා ඒවා වන අතර රාජසිංහ රජුගේ ජීවමාන ප්‍රමාණයේ ප්‍රතිමාවක් ද විහාර මන්දිරය තුළ තිබේ.මහ අලුත් විහාරය අඩි 90 ක දිගින් යුක්ත වන අතර මෙහි ඇත්තේ ඉතා සීමාසහිත ඉඩකඩකි.ලෙනට ඇතුළු වන අයෙකුට දර්ශනීය මකර තොරණක් සහිත දොරටුවක් දැකගත හැකිය. මෙම දොරටුවට යොදා ඇත්තේ ගල් උළුවස්සක් වන අතර දොරෙහි පාදමට පදම් කළ පොල් කටුවක් යොදා ඇතැයි සැලකේ.මෙහි සියලුම බුදු පිළිම හා සිතුවම් නිර්මාණය කර ඇත්තේ මහනුවර යුගයෙන් පසුව ය.
                 
 පශ්චිම විහාරය මෑත කාලයේදී වඩාත් කතාබහට ලක්වූයේ එය අවාසනාවන්ත ලෙස නිදන් සොරුන්ගේ ග්‍රහණයට ලක්වූ නිසා ය.වළගම්බා රජු විසින් මුලින්ම තනවා ඇත්තේ ද මෙම ලෙන් විහාරයයි.පිළිම පහක් ඇති නිසා පස් පිළිම ගේ ලෙස ද හඳුන්වා ඇති අතර මෙහි ප්‍රතිමා 21 ක් තිබේ.ලෙන මධ්‍යයට වන්නට සෝමාවතී නමින් කුඩා දාගැබක් දැකිය හැක. එහි සෝමා දේවියගේ ආභරණ තැන්පත් කොට තිබී ඇතැයි සැලකෙන අතර දාගැබ එනමින් හැඳින්වෙන්නේ ද ඒ නිසා ය.නිදන් හොරුන් විසින් එය කඩා දමා ඇත.මේ වනවිට විශේෂ ආරක්ෂක පද්ධතියක් ද විහාරය තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.එය මෙවැනි උවදුරු වළකා ගනිමින් ජාතික උරුමයන් රැකීමට ගත් වැදගත් කාලොවිත පියවරකි.
    දෙවන අලුත් විහාරය මහනුවර යුගයෙනුත් පසු ඉදිකල එකකි. දූල්ලෑවේ අදිකාරම විසින් මෙය කරවන ලදැයි විශ්වාස කරන අතර තොළඹුගොල්ලේ කෝරළ නැමැත්තෙකු විසින් 1915 දි මෙය අලුත්වැඩියා කල බව විහාරයේම සටහන් කර ඇත.මෙහි පිළිම නිර්මාණය කිරීමේදී ගඩොල් මැටි සහ හුණූබදාම භාවිත කර ඇත.තරමක විශාල සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් ද ඇතුළුව බුද්ධ ප්‍රතිමා 11 ක් දෙවන අලුත් විහාරයේ දක්නට ලැබේ.
  දඹුලු ලෙන් විහාරය නරඹන අයෙකුට ශ්‍රී විෂ්ණු මහා දේවාලය ද අමතක කළ නොහැක. ශ්‍රී විෂ්ණු මහා දේවාලය බැතිමතුන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූවකි.මෙම දෙව් රුව වළගම්බා රජු විසින් කරවූවක් බව ජනප්‍රවාදයේ එයි. එමෙන්ම ඕලන්දක්කාරයන් විසින් දෙවිනුවර තිබූ උප්පලවණ්ණ දෙව්රුව මුහුදට විසිකළ බවත් ත්‍රීකුණාමලයට පාවී ආ එම පිළිමය ධිවරයන් විසින් රජුට දෙන ලදුව දඹුලු විහාරයේ තැන්පත් කළ බවට ද ජනප්‍රවාදයක් පවතී.තවත් අයෙකු පවසන්නේ මුහුදේ පාවී ආ කිහිරි කොටයක් දෙවියන්ගේ නියමයෙන් දේව රූපයක් බවට පත්කොට දෙවිනුවර දේවාලයක් තනවා එහි තැන්පත් කළ බවත් එය පසුව අලුත් නුවරටත් පසුව මහනුවර මහ විෂ්ණු දේවාලයටත් එතැනින් දඹුල්ලටත් ගෙනා බවයි.මෙය සෑම දෙනාගේම බුහුමන් ලැබූ දේවාලයක් බව පැවසේ.අදටත් ප්‍රදේශවාසීන් තුළ දේවාලය පිළිබඳ දැඩි විශ්වාසයක් පවතී.
  ඓතිහාසිකවත් සෞන්දර්යාත්මකවත් අග තැන්පත් මෙම පින් බිමේ උරුමය රැක ගැනීමට කටයුතු කිරීම අප සියලු දෙනාට පැවරෙන ජාතික වගකීමකි. ඔබත් වන්දනාගමනක් යන්නට හෝ සති අන්තය වඩාත් අර්ථවත්ව ගත කිරීමට සිතන්නේ නම් දඹුලු විහාරය ඔබේ සැලසුමට එක් කර ගැනීමට අමතක කරන්නට එපා.එහි රසවත් ඉතිහාසය දැනගෙන විහාරය වන්දනාමාන කිරීම කිසිදා නොවිඳි අලුත් අත්දැකීමක් ද වේවි.
           
  ඓතිහාසික තොරතුරු සපයා ගැනිම ආනන්ද මාරසිංහ මහතාගේ ‘දඹුලු ලෙන් විහාරය’කෘතිය ඇසුරිනි
                                 

   ගල්කුඩු සෑය          

No comments:

Post a Comment