Thursday, May 4, 2017

විවාහයේ විරෝධාකල්පය ගීතයෙන් කියැවීම


බිරිඳ මගේ ඔබ

නෑ මා ඔබගේ බිරිඳ නොවේ

දැඟිලි හුයකින් බැඳී පමණින් මා

ඔබගේ බිරිඳ නොවේ ...ඔබගේ බිරිඳ නොවේ



 ඔබ පෙම් කළ අය ඔබට ලැබී නැත

 මා පෙම් කළ අය මටද ලැබී නැත

 මව්පිය නෑසිය ආසිරි ගී මැද

 දෑගිලි පමණක් එකට බැඳී ඇත

 දෑගිලි පමණක් එකට බැඳී ඇත

                                                                                                      


  බිරිඳ මගේ ඔබ ...//



  සිරුරින් එකතැන හදවත් දෙතැනක

  දෙදෙනෙකු වෙමු අපි එකම වහල යට ...//

 ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය

 අපට මියෙන තුරු හැඳිනිය හැකිවේද

 අපට මියෙන තුරු හැඳිනිය හැකිවේද



 බිරිඳ මගේ ඔබ ...//                                   

                                      පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න

                                         සත්සර මුසුව: විශාරද ගුණදාස කපුගේ

                                          සුගායනය: විශාරද ගුණදාස කපුගේ සමඟ

                                                                     නන්දා මාලිනී 



                        



             සිංහල විරෝධාකල්ප කාව්‍ය කලාවේ ආරම්භය ක‍්‍රි :පු  අටවන සියවස තෙක් ඈතට දිව යයි. එයිනුදු හැත්තෑව දශකයේ ආරම්භය සනිටුහන් වන්නේ විරෝධාකල්ප ගීයේ ආරම්භය ලෙසයි. 71 අප්‍රේල් අරගලයත් සමඟ සිරගෙවල් තුළ ජීීවිතාන්තය තෙක් පිරිසක් සිරගතව සිටිියදී අරගලයෙන් මියගිය පිරිස් සැමරීම පිණිස සිරගෙවල් තුළ ගායනා කළ විමුක්ති ගීය නිසා විරෝධාකල්ප  ගීත ප‍්‍රවණතාවය බිහිවී ඇත.පසුව සමාජයේ පවතින  ඕනෑම පටු ක‍්‍රියාවලියකට එරෙහිව කලාකරුවා නිර්මාණශීලී ඇසින් හෙළන විරෝධී දෘෂ්ඨිය මේ ගීත කලාවේ පදනම වී ඇත. තත්කාලීන සමාජයේ පවතින ආර්ථික ,සමාජ දේශපාලන කාරණා, විවිධ නොපනත්කම් වෙනුවෙන් පමණක් නොව මිනිස් සමාජයත් සමග දිගුකාලීනව බද්ධවී පැවති මිනිස්කමට පටු සීමා තනන සමාජ හා සංස්කෘතික කාරණා විවේචනය කෙරෙහි ද විරෝධාකල්ප ගීතය යොදාගෙන ඇත .

         මේ  ගීතය ද සිංහල සංස්කෘතිය තුළ මුල්බැස ඇති විවාහය හා සම්බන්ධ පොදු සමාජ ධර්මතාවයන් කෙරෙහි විරෝධය මතු කරලීමට රචනා කරන ලද ගීතයකි . විවාහයට පෙර තරුණයෙකුගේත් තරුණියකගේත් ඔවුනොවුන් කෙරෙහි පවතින කැමැත්ත ප‍්‍රමුඛ කාරණය වීම වෙනුවට කුලය ,රැුකියාව ,ජාතිය ,දැවැද්ද ,ධනය ,බලය, මාපිය කැමැත්ත වැනි අවශේෂ සාධක ගැළපීම මත දෙදෙනාගේ ගැළපීම තීරණය කිරීම පිළිබඳ සමාජ සංස්කෘතික කාරණයට එරෙහිව මේ ගීතයේදී හඬ නඟා ඇත . විවාහයේදී මුලික වන්නේ දෙදෙනාගේ කැමැත්ත හා අවබෝධය මිස අන් කවර කරුණක් ද? අකමැත්තෙන් එක්කළ හදවත් දෙකකට මේ දිගු ජීවන ගමනේදී එකම මඟක යා හැකිද යන්න ගීතය වගකිවයුතු සමාජයෙන් අසන ප‍්‍රශ්නයයි .මෙම ගීතය රචනා කරන ලද්දේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනි . මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට අනුව මෙයට වස්තු විෂය වී ඇත්තේ කුලය ,දෑවැද්ද ,බලය ,ජාතිය, රැුකියාව වැනි පටු සමාජ සංස්කෘතික කාරණා මුල් වීමෙන් සිය කැමැත්ත පවතින පුද්ගලයාම විවාහ කර ගැනීමට නොහැකිවීමේ ගැටලූව නිසා විවාහය තුළ මතුවන ප‍්‍රතිවිරෝධතාවයයි . 80 දශකයේ දී මෙම ගීතය රචනා වන්නේ නන්දා මාලිනිය උදෙසාය .ගීතයේ ස්වර සංකලනය කරන ලද්දේ විශාරද ගුණදාස කපුගේ ශුරින් විසිනි. ගීතය ගායනය කරන්නේ ගුණදාස කපුගේ සමඟ නන්දා මාලනිය විසින් වන අතර ගුණදාස කපුගේ ශුරින් සහය ගායනයෙන්  දායක වේ.මෙය තවමත් ‘අභිසාරිකාවන්ගේ ’ගීත ඇල්බමයේ අඩංගු ගීතයකි.

           විවාහය ඉතා වැදගත් සමාජ සංස්ථාවකි. සමාජය ඉදිරියට ගෙන යන්නේත් දරුවන් ඇති  වන්නේත් මෙම කුලකය තුළයි .එහිදී විවාහක යුවළ තුළ එකිනෙකා කෙරෙහි පවත්නා බැඳීම ප‍්‍රමුඛ කාරණයකි. නමුත් මෙම ගීතයේදී  රචකයා එකිනෙකාට බැඳීමක් නැති දෙදෙනෙක් විවාහය වැනි ප‍්‍රබල බන්ධනයකට එක් කිරීමෙන් වන මානසික ප‍්‍රතිවිරෝධතාවය මොනවට පැහැදිලි කරයි. විවාහය හුදෙක් භෞතිකමය කාරණයක් නොව මානසිකමය වශයෙන් හදවත අභ්‍යන්තරයෙන් නැෙඟන බැඳීමකි. මෙම මානසික ගැළපීම භෞතික ගැළපීම පරයා නොහේ. විවාහයේ ගැළපීම යනු දෙදෙනා අතර පවතින අවබෝධය මිස අන් කවරක්ද ?

          

        බිරිඳ මගේ ඔබ

         නෑ මා ඔබගේ බිරිඳ නොවේ

         දැඟිලි හුයකින් බැඳී පමණින් මා

         ඔබගේ බිරිඳ නොවේ ...ඔබගේ බිරිඳ නොවේ ˮ

          

         මෙම ප‍්‍රශ්න කිරීම ගීතය පුරාම සිදු වන්නේ සාමාන්‍ය ජීවිතයේදී සිදුවන සංවාදයක් පරිද්දෙනි. සුනිල් ආරියරත්නයන් සංවාදශීලී ආකෘතියකට අනුව යමින් මෙය රචනා කර තිබීම නිසා ගීතයෙන් පෙන්වන විරුද්ධත්වය ක්ෂණිකව ශ‍්‍රාවකයාට දැනේ. එය සමාජය විසින් මානසික බැඳීම් වලට භෞතිකමය වටිනාකමක් දීමට උත්සහ කිරීම උපහාසයට ලක් කිරීමක් වැනිය .

        සැමියා තම බිරිඳව ලෝක නීතිය අනුව බිරිඳ ලෙස පිළිගනී. නමුත් සිතේ එකගත්වයකින් තොරව කෙනෙකු තම සැමියා හෝ බිරිඳ ලෙස පිළිගත හැකිද ? මෙම සත්‍යයට අභියෝග කරන්නේ බිරිඳයි. තම සැමියාගෙන් ඇය ප‍්‍රශ්න කරන්නේ දෑගිලි හුයකින් බැඳී පමණින් මා ඔබගේ බිරිඳ වේද යන්නයි. එනම් හදවතින් සැමියා හෝ බිරිඳ ලෙස අප අපව පිළිගෙන තිබේද යන්නයි. සිංහල විවාහ ක‍්‍රමය තුළ තිබෙන දෑගිලි බැඳීම වැනි චාරිත‍්‍රයන්ම ගීතයට ඇතුළත් කර තිබීම නිසා  මෙහි විරෝධකල්පය වඩාත් තීව‍්‍ර වී පෙනේ. පෝරුමස්තකාරූඪ කර අතැඟිලි බැදීමෙන් රන් කෙණ්ඩියෙන් අත පැන් වත් කිරීමෙන් ලෝක චාරිත‍්‍රයෙන් යුවළකට එක් විය හැකිය . නමුත් එසේ කළ පමණින්ම කිසිදා  සමාජයට හදවත් දෙකක් එකට යා කළ නොහැකිය. එම විරුද්ධත්වය ප‍්‍රකාශ වන්නේ ”දෑඟලි හුයකින් බැඳී පමණින් මා ඔබගේ බිරිඳ නොවේˮ යන්නෙනි.

       මෙය සැබෑ අඹු - සැමි බැඳීමකට සමාන කළ හැකිද? එනම් ලෝක සිරිතට අනුව කුලයෙන් බලයෙන් ධනයෙන් පමණක් ගැළපෙන දෙදෙනෙකු  චාරිතා‍්‍රනුකුුලව විවාහ වු පමණින්  ඕනෑම පිරිමියෙකු සැමියෙකු බවටත්  ඕනෑම කාන්තාවක බිරිඳක බවටත් පත්විය හැකිද ? එසේ කළ පමණින් මනුෂ්‍ය ප‍්‍රාණීන් දෙදෙනෙකුගේ ගැහෙන හදවත් එකට එක්වේද? ගීතයේ මුල් භාගයේදී දැඩිව ප‍්‍රශ්න කරන්නේ එයයි. එයම ගීතය රසවිඳින්නන්ට විවාහයේ සැගවී තිබෙන ප‍්‍රතිවිරෝධතාවය කියාපායි. 

        සැමියා හා බිරිද අතර එකිනෙකා පිළිගැනීම කෙරෙහි පවතින අකමැත්ත මඟින් පවසන්නේ තමා මෙලෙස එකතු කළ සමාජයට සංස්කෘතියට ඔවුන් දක්වන විරෝධයයි. ගීතයේ අවස්ථා තුන හතරකදීම ”බිරිඳ මගේ ඔබ - නෑ මා ඔබගේ බිරිඳ නොවේ ” යන්න යොදා ගැනීම තුළ මෙම ප‍්‍රතිවිරෝධතාවය දැඩිව ඉස්මතු වේ.එය සත්‍ය වශයෙන්ම බොහෝ පවුල් සංස්ථා වසා සිටින සත්‍යයේ කඩතුරාව හැරීමෙන් මෙම විරෝධතාවය ඉස්මතු කිරීමට සුනිල් ආරියරත්නයන් දරන ලද සාර්ථක උත්සාහයක් බැව් කිව හැකියx

      එහි දෙවන කොටසේදී  මෙම විරෝධතාවය ගීතය රසවිදින්නන්ට හොදින් ඒත්තු ගැන්වේ. විරෝධාකල්පය හුදෙක් මන : කල්පිත සාහිත්‍යයක් නොවේය යන්න පසක් වන්නේ මෙහිදීය .ඉතා දිගු කාලයක් සමාජය වසා සිටි කාරණයක් වුවද එය එසේ නොව මෙසේ විය යුතුය යන්න කීමට විරෝධාකල්ප ගීතය ප‍්‍රබල උත්සාහයක් දරයි. මෙයින් කාලාන්තරයක් තිස්සේ සංස්කෘතියේ හා සමාජයේ මුවාවෙන් අප ගෙනා පුහු සිතුම් පැතුම් වලට ප‍්‍රබල පහරක් උපහාස රසය දනවමින් එල්ල කරයි සැමියා ද තමා සඟවා සිටි සත්‍යය හෙළි කරන්නේ මෙසේය .

              ඔබ පෙම් කළ අය ඔබට ලැබී නැත

                මා පෙම් කළ ය මටද ලැබී නැත

                මව් පිය නෑසිය ආසිරි ගී මැද

                දෑගිලි පමණක් එකට බැඳී ඇත

                දෑගිලි පමණක් එකට බැදී ඇත ˮ

          තම ආදරය විවාහය තෙක් ගෙනයාම බොහෝ තරුණ සිත්හි පරමාර්ථයයි. එයට හේතුව නම්   භෞතිකමය වශයෙන් ගැළපීමෙන් නියම විවාහ සංස්ථාවක් සැකසිය නොහැකි වීමයි. දෑවැද්ද ,කුලය .ජාතිය ,බලය  ,දේපළ, වත්පොහොසත්කම් මෙම උතුම් මානුෂීය බැදීමේ වටිනාකම ඉක්මවා  සංස්කෘතියේ හා සමාජයේ මුල් මගින් වසා ගෙන ඇත. රචකයා හුවා දක්වන්නේ මේ භෞතිකමය බැඳීමේ ඇති නිස්සාරත්වයයි. මානසික බැඳීමකින් ගොඩනඟන සංස්ථාවක් භෞතික සාධක සැපිරීමෙන් දිනාගත නොහැකිය. එයට රචකයා දක්වන්නේ දැඩි විරෝධයකි.

        සිය සැමියා පෙම් කළ තරුණිය ඔහුට ලැබී නැත . බිරිඳ පෙම් කළ තරුණයා ඇයට ලැබී නැත. එසේ නම් එකිනෙකාට ආදරයනොකරන හදවත් දෙකක් මියෙන තුරුම එක කුලකයක තබන්නේ කෙසේද? ඔවුන්ට එකිනෙකාගේ කැමැත්ත හැර මව්පිය නෑසිය ආශිර්වාදය ආදී අවශේෂ කාරණා සියල්ල සැපිරී ඇත. නොගැළපෙන දෙදෙනෙකුට විවාහයකදී මව්පිය ආශිර්වාදය ලැබීමෙන් පළක් නොවේ. එලෙස විවාහ බන්ධනයට ඇතුළත් වන  දෙදෙනා කර ඇත්තේ දිගු ජීවිත කාලය පුරාවටම මව්පිය නෑසිය සිත් සැනසීමේ සද්කාර්යට දායක වීම පමණෙකි. විවාහයේ ප‍්‍රමුඛතාවය එම දෙදෙනාගෙන්ම ගිලිහී ගොස් ඇත්තේ මේ අනවශ්‍ය  සමාජ බලපෑම නිසාවෙනි . එයින් ඔවුන් පීඩා විඳී. එනමුදු වුවත් ,

                 දෑගිලි පමණක් එකට බැදී ඇත ”

         යනුවෙන් කියවෙන්නේ සිය හදවතට හොරා සමාජයට ඔවුන් අඹු සැමියන් වු බවය .ඔවුන් ළඟ ඇත්තේ සමාජය විසින් ඔවුන් අඹු සැමියන් ලෙස පිළිගැනීම පමණි. නමුත් සිය හදවත් වලින් එම සැබෑ බැඳීම ගොඩනඟා ගනීමට ඔවුන් දෙදෙනාගෙන් කවරෙකු හෝ සමර්ථ වී නැත. මෙහිදී සුනිල් ආරියරත්නයන් මතු කරන්නේ සමාජයේ නියමයන් විසින් සත්‍යයේ කඩතුරාවෙන් වසා ඇති මෙකී සමාජ කාරණාවන්හි ඇති සැබෑ කටුක භාවයයි. පරම්පරා ගණනාවක සිට බොහෝ තරුණ තරුණියන් සිය විවාහය නම් කාරණය අබිිමුවදී මුහුණ දෙන සමාජ සංකෘතික ඛේදාන්තයට උපහාස රසයකින් විරෝධය පෑමට ඔහු උත්සාහ කර ඇත.විවාහ සංස්ථාව විවාහ වන දෙදෙනාට ප‍්‍රිය විය යුතු  දෙයක්ම මිස සමාජයට හා මව්පියන්ට පමණක් ප‍්‍රිය විය යුතු දෙයක් නොවේ. දික්කසාදය වැනි අනවශ්‍ය ප‍්‍රශ්න ඇතිවීම පිටුපස පවා ඇත්තේ එම සමාජ ප‍්‍රශ්නයයි. මෙම සැගවුණු සත්‍යයට විරෝධය පෑම ආරියරත්නයන් විසින් ගීතයේ ප‍්‍රකාශනය දැඩි කිරීමෙන්ම කර ඇත.

      මෙහිදී ඔහු සාම්ප‍්‍රදායිකව පැවති සමාජ අසාධාරණත්වය ,දරිද්‍රතාවය වැනි සංකල්පයන්ගෙන් මිදී මිනිස් සංතෘප්තියට ඍජුවම බලපාන සමාජ සංස්ථාවකට සිදුව ඇති අසාධාරණත්වයට නිර්මාණශීලී විරෝධයක් පා ඇත. එය සමාජය විසින් මෙවැනි බැදීම් සමග භෞතිකත්වය පටළවා තිබීමේ අනර්ථකාරී බව මොනවට පැහැදිලි කරයි.

      සරල බස් වහර ,සංවාද ස්වරූපය ,විවාහයේදී දෙදෙනෙකු විවාහක යුවළක් බවට පත් කරන චාරිත‍්‍රයන් ගී පද වලට ඇතුල් කිරීම පවතින ක‍්‍රමයේ නිස්සාරත්වය මතු කර විරෝධය පෑමට යොදාගත් ඉතා  නිර්මාණශීලී ප‍්‍රවේශයකි. එමෙන්ම විවාහක යුවළ තුළ මෙවන් ඉරණමක් අත් කළ සමාජය කෙරෙහි පවතින පශ්චාත්තාපය කිසිම විටෙක ද්වේෂසහගත ලෙස ඉදිරිපත් නොකිරීමට තරම් මෙම විරෝධාකල්ප ගීතය පොහොසත්ය. බිරිදක සැමියෙකු ආමන්ත‍්‍රණය නොකරන තරමේ ඍජු කථන විලාසයකින් ඇමතීමෙන් මතු වන්නේ මේ දෙදෙනා තුළ ඇත්තේ පිළිගැනීම නොව අකමැත්ත හා ප‍්‍රතික්ෂේප කිරීම පමණක් බවය.දෙදෙනාම පවුල තුළ තමන් ආගන්තුකයන් කළ සමාජ ක‍්‍රමයට සංස්කෘතියට දක්වන විරෝධයයි.එය සමස්ත පරිසරයටම දක්වන උපහාසය මුසු විරුද්ධත්වයකි.

                  සිරුරින් එකතැන හදවත් දෙතැනක 

                   දෙදෙනෙකු වෙමු අපි එකම වහල යට

                   ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය

                   අපට මියෙන තුරු හැඳිනිය හැකිවෙද 

          ගීතයේ තෙවන කොටසේදී රචකයා  නැවතත් පෙන්වා දෙන්නේ බාහිර පිරිසක් තවත් ජීවිත දෙකක් වෙනුවෙන් ගත්අඥාන තීරණයන්ගෙන් පීඩාවට පත්වූ විවාහ ජීවිත වල සැබෑ ස්වරුපයයි. එකම වහළ යට එකට ජීවත්වුව ද සැමියෙකු හා බිරිදකගේ සැබෑ සම්බන්ධයේදී ඔවුන් තමන්ටම පරාද වී හමාරය .මන්ද හදවත් වලින් ඔවුන් මේ සම්බන්ධයට ආමන්ත‍්‍රණය කර නොමැත. එසේ සමීප වීමට ඔවුන්ට නොහැකි වුයේ දෙදෙනාම මෙම සමාජ ක‍්‍රමය කෙරෙහි සංස්කෘතිය කෙරෙහි දක්වන විරෝධය නිසා නොවේද? විවාහයේ අරමුණ ආදරය හා රැකවරණයයි.මෙම ආධ්‍යාත්මික අවශ්‍යතාවය භෞතික කාරණයෙන් බඳින ලද හදවත් දෙකක් හඳුනන්නේ කෙසේද? සමාජයට නොව ඔවුන්ට දැනෙන අඹු සැමියන් වීමට තමා ආදරය කළ තමාට රැකවරණය සැලසු පරිසරයම ඉඩ තබා නොමැත. ගීතයේ අවසාන භාගයේදී අසන්නේ මෙම සංවේදී ප‍්‍රශ්නයයි. ඒ තත්වයට විරෝධය දක්වන්නේ මෙලෙසිනි.

                       ඔබෙත් මගෙත් හද ගැහෙනා රාවය

                        අපට මියෙන තුරු හැඳිනිය හැකිවෙද

                        අපට මියෙන තුරු හැඳිනිය හැකිවේදˮ

         සාමාන්‍ය සමාජ පිළිගැනීමේදී කාන්තාව සියල්ලම කැමති හෝ අකමැති වේවා නිහඬව විද දරා ගන්නියකි .නමුත් මෙතැනදී ඍජුව මෙම තත්වය කාන්තාවම සැමියාට ප‍්‍රකාශ කිරීමෙන් පෙනෙන්නේ මෙවැනි විවාහයක් පිළිබඳ දක්වන දැඩි විරෝධයයි. මරණය තෙක් යනෙන ගමන ඉතා දිගුය. ඒ දිගු කාලය පුරාවටම එකිනෙකා පිළිබඳ පවා නොදන්නා කුටුම්භයක දිවි ගෙවීමට සිදුවීම එයින් ඇතිවන දරුවන් කෙරෙහිද ඍජුව බලපායි. කුටුම්භයක් තුළදී ලැබෙන රැකවරණය ලැබිය හැක්කේ එකිනෙකා ගැන සිය අවශ්‍යතාවයන් ගැන දැන ගැනීමෙන් පමණි. එය ඉටු නොවන විවාහයකින් පළක් නොවේ. විවාහයේ සැබෑ අරමුණ දිනාගැනීමේදී සමාජය විසින් නිමවන ලද අනවශ්‍ය සීමා එයට බාධාවක් වී ඇත. බිරිඳ සැමියාගෙන් විමසන්නේ මේ ආධ්‍යාත්මීය දුරස්ථභාවය නැතිවී කවදා සත්‍ය වශයෙන්ම විවාහ සංස්ථාවක තමන්ව එක කරයිද යන ගැටලූවයි.

        මෙහි පවතින අපුර්ව සංවාදශීලී කථන ස්වරූපය සැමියෙකු හා බිරිදක අතර තමා අභියස පවතින බරපතල ගැටලූව පිළිබඳ කියන්නක් වුවද මෙහි පවතින විරෝධය රචකයා යොමු කරන්නේ මෙවැනි අස්ථීර සම්බන්ධතා ඇති කරන සමාජ ක‍්‍රමයට හා සංස්කෘතියටයි .මෙවැනි කුටුම්භ සැකසීමෙන් දිගින් දිගටම කරන්නේ අසන්තෝෂයෙන් තැවෙන සමාජ ක‍්‍රමයක් ඇති කිරීමම නොවේද? මෙහිදී ඉතා අවධාරණයෙන් විවාහයෙන් දෙදෙනෙක් බලාපොරොත්තු වන මූලික කාරණා  අකමැත්තෙන් එකතුවූ දෙදෙනෙකුට නොලැබෙන බව කියයි. ඔවුන්ව එම තත්වයට පත් කරන ලද්දේ කුලය ,දෑවැද්ද .නිලය .බලය වැනි පටු සාධකයන්මය. බොහෝ විවාහ සංස්ථාවන්හි මෙවන් නොකියූ කතාවක් පැවතිය හැක. රචකයා ඒ සෑම ලිහිල් බැදීමක්ම ඇතිකළ සමාජ ඇගයුම් පද්ධතියට  සමියෙකුගේ හා බිරිඳකගේ හැගීම් ද ඔවුන්ගේ මානසික අනාථ භාවයද හුවා දක්වමින් තම විරෝධය නිර්මාණශීලීව පළ  කිරීමට අනුගමනය කළ ප‍්‍රවේශය ඉතා ප‍්‍රශස්තය .මේ සියලූ දෙයින් කියා සිටින්නේ අන්‍යොන්‍ය කැමැත්ත හා විශ්වාසය නොමැතිව ඇතිවන විවාහය සැබෑ විවාහයක් නොව හුදෙක් සමාජය වෙනුවෙන් කරන්නාවූ රංගනයක්ම පමණක් වන බවයි.

No comments:

Post a Comment