Friday, September 1, 2023

 21 වන සියවසේ අභියෝගාත්මක මාධ්‍ය සගයා : පුවත්පත 

1802 ලංකාණ්ඩුවේ ගැසට් පත්‍රයෙන් ඇරඹි මෙරට පුවත්පත් කලාව වර්තමානය වනවිට ඩිජිටල් මාධ්‍ය අවකාශය දක්වා වර්ධනය වී ඇත.සෙසු මාධ්‍යවලට සාපේක්ෂව 21 වන සියවසේ අභියෝගාත්මක මාධ්‍ය පුවත්පත වන බව මාධ්‍ය කලාවට සම්බන්ධ බොහෝදෙනෙකුගේ අදහසයි . සැබැවින්ම රූපවාහිනිය, ගුවන්විදුලිය හා නව මාධ්‍ය , සමාජ මාධ්‍යයට සාපේක්ෂව පුවත්පත අභියෝගයට ලක්ව ඇත්තේ ද? බොහෝදෙනෙකු එය වඳවීමේ තර්ජනය අබියස සිටින බවට මත පළ කරති. ඒ කෙසේවෙතත් මේ මාධ්‍ය සගයා සෙසු මාධ්‍ය ආගමනයත් සමඟ එහි පවතින අනන්‍ය ලක්ෂණ හේතුවෙන් පැවැත්ම සහ අලෙවිය පිළිබඳ ගැටලුවකට මුහුණ පා සිටින බව නම් සත්‍යයකි .නමුත් මේ පැරණිතම මාධ්‍යය වඳවී යන බව එකහෙළා පුරෝකථනය කිරීම තරමක් දුෂ්කර වන්නේ මේ වනවිටත් එය සිය ආවේණික හැඩය වෙනස් කර ඇති බැවිනි .

නව පුවත්පත් කලාව වර්තමානයේ public Journalism" civic Journalism" Community Journalism,   conversational Journalism  සහ  ලෙස ද හැඳින්වේ . මේ ආශ්‍රිතව මෙම අභියෝගාත්මක මාධ්‍යයේ නව හැඩහුරුකම් රැසක් ඇතිවී ඇත. සාමාන්‍යයෙන් මෙම ඕනෑම ප්‍රවණතාවක් වසර පහත් දහයත් අතර කාලයකදී වෙනස් වීමට ලක් වේ . පුවත්පත ද කාලීනව වෙනස්ව ඇති බැවින් එය සම්පුර්ණයෙන් වඳවී යනු ඇතැයි කීමට ඉක්මන් වැඩි ය . නමුත් මුද්‍රිත පුවත්පත අලෙවිය පිළිබඳ යම් ගැටලුකාරී තත්වයකට මුහුණ පා ඇති බව පෙනේ. 

විශේෂයෙන්ම අන්තර්ජාලයේ නැඟීමත් සමඟ පුවත්පත් කලාව තුළ විප්ලවකාරී වෙනස්කම් ඇතිවිය. නුතන තාක්ෂණික බලපෑම පුවත්පත සහ පුවත්පත් කර්මාන්තය කෙරෙහි බොහෝසෙයින් බලපා ඇත. මේ නිසාම පුවත්පත සම්බන්ධ සෘණාත්මක පුරෝකථන සිදුකිරීමට ද ඇතැමෙක් පෙළඹුණේය. බෙහෝදෙනෙකු විශ්වාස කළේ විද්‍යුත් මාධ්‍යයේ නැඟීම, තාක්ෂණික වෙනස්කම් සිදුවීම, සමාජ මාධ්‍යයේ නැඟීම වැනි කරුණු මත පුවත්පත වසර කිහිපයක් තුළ අභාවයට පත්වනු ඇති බවයි.

නමුත් සමකාලීන පුවත්පත් මාධ්‍ය ආශ්‍රිතව පවතින ප්‍රවණතා දෙස සලකා බැලීමේදී පෙනී යන්නේ පුවත්පත ස්වයං අභියෝගාත්මක මාධ්‍යයක් බවට පත්ව ඇති බවයි. ලෝකයේ තොරතුරු සන්නිවේදනය සඳහා පවතින මාධ්‍ය අතර පුවත්පත ඉතා පැරණිතම මාධ්‍යයකි. ක්‍රමයෙන් ගුවන්විදුලිය හා රූපවාහිනි ආගමනය සමඟ පුවත්පත් මාධ්‍යය බිඳවැටෙතැයි අපේක්ෂා කළත් පුවත්පත ග්‍රහණය කරගත් ග්‍රාහක සමාජය තුළ එම මාධ්‍යයට පවතින අනන්‍යතා මත පුවත්පත ක්‍රියාත්මක වන බව පෙනේ. 90 දශකයේ අග භාගයේදී වෙබ් අඩවි පැමිණීමත් සමඟ සියලුම මාධ්‍ය අභියෝගයට ලක්වේ යැයි උපකල්පනය කළ ද අද දක්වාම එකී මාධ්‍ය අනන්‍යතා ආරක්ෂා කර ගනිමින් ක්‍රියාත්මක වේ. 

කෙසේවෙතත් ,

පුවත්පත දෛනිකව මිලදී ගතයුතු මාධ්‍යයක් වීම. 

තරඟකාරී මාධ්‍යකරණය තුළ වේගවත් තොරතුරු සංසරණයට ඇති හැකියාව අවම වීම.

මුද්‍රිත ප්‍රකාශනය වෙනුවට ප්‍රකාශන සමාගම් ඊ පුවත්පත් හා වෙබ් අඩවි වෙත යොමු වීම. 

පුවත්පතේ මුල් ස්වභාවය වෙනස් වීමට බොහෝ සෙයින් බලපා ඇත. එමඟින් සාම්ප්‍රදායික මුද්‍රිත පිටපත කෙරෙහි උනන්දුවක් දක්වන ග්‍රාහකයන් මෙන්ම අන්තර්ජාලය කෙරෙහි උනන්දුවක් දක්වන තරුණ ප්‍රජාව ඇතුළු විවිධ ග්‍රාහක මට්ටම් කළමනාකරණය කිරීම කෙරෙහි පුවත්පත් ආයතන වැඩි සැලකිල්ලක් දක්වනු ලබයි. ලෝකයේ “ද  ඉන්ඩිපෙන්ඩන්ට්” වැනි ඇතැම් පුවත්පත් සමාගම් මුළුමනින්ම පාහේ සිය පුවත්පත් මුද්‍රණය අවසන් කොට වෙබ් පුවත්පත් පමණක් පවත්වාගෙන යනු ලැබේ. මෙයින් වැඩිහිටි පාඨකයින් පුවත්පතේ මුද්‍රිත පිටපත වෙත තවමත් ආකර්ෂණය වී ඇති ස්වභාවයක් දක්නට ඇත.

මෙරට තුළ පුවත්පත් ආයතන වැසී යාමේ තර්ජනයක් පවතින බව පෙනී ගියත් වසරකට සාමාන්‍යයෙන් නව පුවත්පත් කිහිපයක් මුද්‍රණය වන බව පෙනී යයි. මේ අනුව පුවත්පත් කර්මාන්තය යම් යම් සමාජ ආර්ථික කාරණා මත දෝලනය වන බව පැහැදිලි ය. පාඨකත්වය හා ඉල්ලුම මත පදනම්ව ජාතික පුවත්පත් ,දිනපතා,සති අන්ත පුවත්පත්, මාසික පුවත්පත් මෙන්ම ග්‍රාහක කණ්ඩායමේ ස්වභාවය මත ළමා පුවත්පත් හා සඟරා, තරුණ පුවත්පත් හා සඟරා, කාන්තා පුවත්පත් හා සඟරා මෙන්ම ක්‍රීඩා,දේශපාලන, ඉවුම් පිහුම්, අධ්‍යාපනික, කලා ,ව්‍යාපාරික වැනි විවිධ ක්ෂේත්‍ර ආවරණය කරනු ලබන පුවත්පත් මෙන්ම සඟරා ද ඩිජිටල් මාධ්‍යයේ ප්‍රකාශන ද විශාල වශයෙන් පාඨකයා අතට පත්වේ.

සමකාලීනව පවතින තාක්ෂණය සමඟ පුවත්පත් කලාව ද බද්ධ වී ඇති බැවින් ජනමාධ්‍යවේදින් කුමන හෝ විශේෂාංගයක් ලිවීම සඳහා ඇසුරු කරගනු ලබන තොරතුරු මුලාශ්‍රවල ස්වභාවය හෙවත් තොරතුරු ලබා ගන්නා ආකාරය, පුවත්පත් පිටු සැකසීම හා මුද්‍රණය සඳහා යොදාගන්නා තාක්ෂණය අලුත් වීම වැනි සාධක මත පත්‍ර කලාව සැලකිය යුතු වෙනස්වීම්වලට භාජනය වී ඇති අතර මේ නිසා පොදුවේ පුවත්පත් කර්මාන්තයේ හැඩය ද වෙනස්වී ඇත. 

බොහෝවිට තොරතුරු මුලාශ්‍රය වෙබ් පිටු, සමාජ මාධ්‍ය ගිණුම්,ජංගම දුරකථන මඟින් වීඩියෝ පට හෝ හඬපට මඟින් ලබාදෙන තොරතුරු දක්වාම විස්තීර්ණ වී තිබේ. මෙවැනි සාධක මත ජනමාධ්‍යවේදියාගේ ක්‍රියාකාරීත්වයේ ස්වභාවය ද වඩාත් සංකීර්ණ වී ඇත. ආචාරධර්මීය ගැටලු මතුවීම කෙරෙහි ද මෙය වඩාත් බලපෑ හැකි ය . එබැවින් මෙම පැරණිතම මාධ්‍ය සගයා 21 වන සියවසේ මාධ්‍ය කර්මාන්තය අබියස පැවැත්ම , අන්තර්ගතය , වේගවත් බව , ලාභදායී බවට සරිලන නව හැඩයකට ප්‍රවේශ වීමේ අභියෝගයකට මුහුණ දෙමින් සිටියි .

සටහන - තිළාණි බණ්ඩාර



No comments:

Post a Comment